Bhagavan Sri Sathya Sai Baba

Bhagavan Sri Sathya Sai Baba

Sunday, April 10, 2011

ලොවට මානව සේවයේ අරුත යළි මතක්‌ කළ භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබාතුමා





මේ මොහොත වන විට ලෝකයේ වැඩියෙන්ම කතා බහට
ලක්‌ වන කරුණු 3 ක්‌ ඇත. එකක්‌ 2011 ඉන්දියාවේ ලෝක කුසලාන ජයග්‍රහණයයි. දෙවැන්න ලිබියාවේ යුදමය වාතාවරණය නිසා ජාත්‍යන්තරයට ඇතිවිය හැකි බලපෑමයි. තෙවැන්න ලොව පුරා මිලියන 37 කට අධික ජනතාවකගේ ආදර ගෞරවයට ප්‍රාප්ත භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබාතුමාණන්ගේ සෞඛ්‍ය තත්ත්වයයි. මේ කරුණු තුන තුළම ලෞකික ලොව ඇති අනිත්‍ය බව මනාවට පසක්‌ කොට ඇත. කොටසක්‌ ජයග්‍රහණයේ සතුට ළඟා කරගන්නා විට අයෙක්‌ පරාජයේ වේදනාව ජයගැනීමේ සටනක යෙදෙති. තම දේශපාලන බලයට, ධන බලයට සියල්ල කළ හැකි යෑයි සිතූ සමහරෙක්‌ට අද සිය ජීවිත පැවැත්ම උදෙසා සටන් වදින්නට සිදුව තිබේ. තෙවැනි කරුණ අතිශයින් සංවේදීය. ඒ තම මුළු ජීවිත කාලයම වැළලී යන මනුසත් බව යළි ස්‌ථාපනය කරන්නට වෙහෙසුණු ශුද්ධවන්තයෙකු අද සිය ජීවිතය තුළින් ලොවට ලෞකික ජීවිතයේ අනිත්‍ය බවේ පාඩම කියා දෙමින් සිටියි.

භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබාතුමා 1926 නොවැම්බර් 23 වැනිදා ඉන්දියාවේ අනන්තපූර් දිස්‌ත්‍රික්‌කයේ අන්ද්‍රd ප්‍රදේශයේ පුට්‌ටපාර්ති ග්‍රාමයේ උපදින්නේ සත්‍ය නාරායන රාජු නම් නාමය ලබමිනි. මව ඊශවරම්මාය. පියා පෙද්ද වෙන්කම රාජුය. සත්‍ය නාරායනට සහෝදර සහෝදරියන් සිවිදෙනෙකි. ශේෂම රාජු හා ජානකී රාමයියා සොයුරන් දෙපළ වූ අතර වෙන්කම්මා හා පාර්වතම්මා සොයුරියන් දෙදෙනා වුහ. කුඩා කල සිටම පිරුණු මනසක්‌ හා සියුම් සොඳුරු ළතෙත් හදවතක්‌ සහිත දරුවෙක්‌ වූ සත්‍ය නාරායන පවුලේ සැමටත්, මිතුරන්ටත්, ගම්වාසීන්ටත් ආදර්ශවත් චරිතයක්‌ විය. දෙවියන් කෙරෙහි අපමණ ගෞරවයකින් මෙන්ම, සැබෑ දේවත්වය වූ කලී උතුම් මනුෂ්‍යත්වය යෑයි පහදාලමින් වැඩෙන්නට විය. මෙම දරුවා තුළ වූ වෙනස්‌ ගති පැවතුම් නිසාම පාසලේදී මෙන්ම ගම් ප්‍රදේශයේදීද නිරන්තර ආදරයට පාත්‍ර වු අතර සම වයසේ මිතුරන් සත්‍ය නාරායන ගුරු නමින් හඳුන්වන්නට පෙළඹුණි. මෙසේ ටික දිනක්‌ යන විට විවිධ ප්‍රාතිහාර්යයන් පෑමට පටන් ගත් සත්‍ය නාරායන රාජු තමා සායි බාබා යෑයි පැවසීය. පුට්‌ටපාර්ති ගම්මානයේ අහිංසක ගැමියන් සායි බාබා යනු කවරෙක්‌දැයි නොදැන සිටියේය. පවුලේ උදවිය සිතා සිටියේ යම් භූතාත්මයක්‌ ශරීරයට පැමිණීම නිසා සත්‍ය නාරායන මේ අසාමානය හැසිරීම් පළ කරන බවයි. නමුත් පසුව මෙම සත්‍ය නාරායන රාජු මින් පෙර මුම්බායි ප්‍රදේශයට ආසන්න ශිර්ඩි හී වැඩ විසු ශිර්ඩි සායි බාබාතුමාගේ පුනරාවතාරය යෑයි පසක්‌ විය. 1940 ඔක්‌තෝබර් 20 වැනි දින තමා මෙම වර්තමාන යුගයේ ලොව ආගම්, නිකායන් පිල්බෙදී ධර්මයන් හී මුල් හරය විකෘති කරමින් ජනතාව අයාලේ යවන නිසා ධර්මය නැවත ස්‌ථාපිත කිරීම පිණිස මනුෂ්‍ය වෙසින් මිහි බට බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එතැන් සිට සත්‍ය සායි බාබාතුමා ලෙසින් මුළු මහත් ඉනිදියාවේම ප්‍රචලිත වු මෙතුමාගේ සරණ සොයා බැතිමතුන් ගලා එන්නට වුයේ රොන් පිරි මලකට ඇඳෙන පිපාසිත බඹරුන් අයුරිනි. දිනෙන් දින සායි බාබාතුමාගේ තේජස ලොව පුරා පැතිරෙන්නට විය. එතුමා සිය කාර්යය සඳහන් කරන්නේ සත්‍යය මාගේ වචනයි. ධර්මය මගේ ක්‍රියාවයි. සාමය මාගේ ස්‌වභාවයයි. ප්‍රේමය මාගේ පිළිබිඹුවයි යනුවෙනි. එතුමාගේ ජීවිතයේ පළමු අවුරු 16 බාල ලීලා නම් වෙයි. ඊළඟ අවුරුදු 16 මහිම හෙවත් ප්‍රාතිභාර්යය පෑම වඩාත් ප්‍රබල වූ යුගය විය. ඉන්පසු ඇරැඹියේ සමස්‌ත ලෝ වැසියන්ට සේවය කරමින් ධර්මයේ හරය වටහා දෙමින් නොමඟ යන මනුෂ්‍යයා සුමඟට ගැනීමේ ක්‍රියාවලියයි.

මෙසේ එතුමාගේ නාමය ලොව පැතිරෙන විට බැතිමතුන් සිය දෙනා ගේ සිට දහස්‌ දෙනා, දස දහස්‌ දෙනා ලෙස වැඩි වන විට සතර දිග් භාගයෙන්ම එතුමාට චෝදනා අවලාද හා අපවාද ගලා එන්නට විය. නමුත් සියල්ල පරයමින් සිය මෙහෙවර ඉටු කිරීමට සත්‍ය සායි බාබාතුමා කටයුතු කළේ විරුද්ධවාදී සියල්ලන්ටම තම කරුණාවේ මහිමය පාමිනි. තාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ හරය, යේසුස්‌ ක්‍රිස්‌තූස්‌ වහන්සේගේ කිතුණු දහමේ ගැඹුර, ඉස්‌ලාම් ධර්මයේ ප්‍රේමාන්විත ඉගැන්වීම් වල යථාර්තය හා ලොව සෑම ආගමික ශාස්‌තෘවරයෙක්‌ ගේම, ඇදහිල්ලකම වැදගත්කම එතුමා විසින් යළි යළිත් පසක්‌ කරන්නට විය. පසු කාලිනව විවිධ පිරිස්‌ තමන්ගේ අවශ්‍යතා සුඛ විහරණය හා පැවැත්ම උදෙසා මුල් ධර්මයන් හට විවිධාකාර වූ වෙනස්‌ අර්ථයන් ලබා දුන්නත් ධර්මයේ සැබෑ සුවඳ වටහා ගැනීමේ අයිතිය මනුෂ්‍යයාට ඇති බව එතුමා පුන පුනා කියන්නට විය. සෑම ධර්මයකම පදනම ස්‌නේහය, මෛත්‍රිය, කරුණාව හා සහෝදරත්වය බව සත්‍ය සායි බාබාතුමා පහදා දෙන්නට විය. ලොව කිසිදු ධර්මයක්‌ තව එකකට වඩා උසස්‌ හෝ පහත් නොවන බවත් ඒ ඒ ධර්මයේ හැසිරෙන්නන්ට එය තම ආත්මය සේ වටිනා බවත් ඒ නිසාම කිසිදු ධර්මයකට අපහාස නොකළ යුතු බවත් එතුමා පැවසීය. මේ නිසාම ලොව සෑම ආගමකම, ධර්මයකම හැසිරෙන බැතිමතුන්ට සත්‍ය සායි බාබාතුමා යනු තවත් ආගමක නිර්මාතෘවරයෙක්‌ සේ නොපෙනීම නිසා එතුමාට ගෞරවපූර්වකව තුති දෙමින් නමස්‌කාර කරනුයේ සිය ධර්මයේ යටි අරුත මතු කරගන්නට ලබා දෙන ශක්‌තිය නිසාවෙන්මය.

සත්‍ය සායි බාබාතුමා සැම විටම ප්‍රකාශ කළේ තමා අදහන ශාස්‌තෘවරයාට පිදිය හැකි හොඳම ආකාරය නම් එතුමාගේ ධර්මයේ හරය වටහාගෙන එහි හැසිරීම බවයි. එමෙන්ම එතුමාට කළ හැකි විශිෂ්ටතම වන්දනය නම් එතුමාගේ මෛත්‍රිය අනුගාමිකයින්ගෙන් විදහා පාමින් ලොව අනෙක්‌ මනුෂ්‍යයන්ට සේවය කිරීම බවයි. මේ නිසාම අද බොහෝ පිරිස්‌ සමාජ සේවයකට වඩා මානව සේවය පිණිස පෙළ ගැසෙන්නේ සායි බාබාතුමාණන්ගේ වචනයට ගරු කරමිනි. එමගින් තමන් අදහන ධර්මයේ ශාස්‌තෘවරයාණන්ට හැකි උපරිම ගෞරවය ලබාදීමට බොහෝ දෙනා පෙළ ගැසී සිටියි. අද එතුමාගේ නිවස්‌න පිහිටා ඇති පුට්‌ටපාර්තියට බෞද්ධ, ක්‍රිස්‌තියානි, ඉස්‌ලාම්, හින්දු, සීක්‌, රෝමානු කතෝලික මෙන්ම විවිධාකාර වූ බැතිමතුන් එක්‌ වන විට සද්ධර්මයක සැබෑ අරුත මල්ඵල ගන්වන විට සිතට දැනෙන, හැඟෙන තවත් කරුණක්‌ වේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ පූජාච පූජනීයානං ( පිදිය යුත්තෝ පිදීම) නම් ශ්‍රී ධර්ම වාක්‍යයේ අරුත්බර භාවයයි. මුදල් පසුපස හැල්මේ දුවන ලෝකයක මිනිසත් බව ලැබූ මිනිසුන්ට තම තමන්ගේ ධර්මය වඩාත් ශක්‌තිමත්ව හදාරන්නට, එහි සැඟවුණු එළිය දකින්නට මඟ පෙන්වූ සායිතුමාට තුතිs පිදීමට ලොව නන් දෙසින් සෑම දිනකම එන බැතිමතුන් ප්‍රමාණය ලක්‍ෂ ගණනකි. අවවාදයට වඩා ආදර්ශය උතුම් යෑයි වන රුවන් වැකියට සජීවී උදාහරණ සපයමින් සත්‍ය සායි බාබාතුමන් විසින් ලොව ඉහළම වෛද්‍ය තාක්‍ෂණයෙන් යුත් සුපිරි ආරෝග්‍ය ශාලා 3 ක්‌, පෙර පාසල්, විශ්වවිද්‍යාල, පානීය ජල සැපයුම් ව්‍යාපෘති, අසරණයන්ට ආහාර සැපයීමේ ව්‍යාපෘති සිදු කරන්නේ එම සේවාවන්ට කිසිදු මුදලක්‌ අය නොකරමිනි. එතුමාගේ ශ්‍රී සත්‍ය සායි සුපිරි විශේෂඥ ආරෝග්‍ය ශාලාව මගින් සිදු කරන හෘද, අක්‍ෂි, වකුගඩු හා ස්‌නායු ශල්‍යකර්ම ගණන වසරකට 45000 ඉක්‌මවයි. අද ලොව වටා විශේෂඥ වෛද්‍යවරුන් මෙම රෝහල හඳුන්වන්නේ බිලක්‌ නොමැතිව හදක්‌ ලැබෙන දිව්‍යමය රෝහල ලෙසිනි. ජාතිය, ආගම, කුලය, සමේ වර්ණය මෙහි ප්‍රතිකාර ලබන්නට එන පිරිස්‌ හට බලපාන්නේ නැත. පැල්පත් වාසියෙක්‌ද මහා මන්දිරයක බලවතෙක්‌ද කියා නැත. ඇති එකම දේ සැබෑ මෛත්‍රී ගුණයයි. අද පෞද්ගලිකව ලොව ඉදිකළ විශාලතම හා දීර්ඝතම ජල සැපයුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේත් සායි බාබාතුමාණන්ගේ අනුග්‍රහයෙනි. ඒ පුට්‌ටපාර්තියේ සිට චෙන්නායි දක්‌වා කිලෝමීටර 4500 ක දිගින් යුත් පිරිසිදු පානීය ජල සැපයුම් ව්‍යාපෘතියයි. දිනකට සැතපුම් 6 ක්‌ පමණ දෙපයින් පිරිසිදු පානීය ජලය සොයා ගිය දුප්පත් ජනතාවගේ දොරකඩට අද ජලය පැමිණෙන්නේ සායි බාබාතුමාණන් නිසාමය. යාචකයකුට බත් පතක්‌, රෝගියකුට බෙහෙත් පෙත්තක්‌ හෝ සතෙකුට බඩගින්නට රොටියක්‌ වත් දීමට හිත් උණු නොවන සමහරක්‌ සත්‍ය සායි බාබාතුමාගේ සැබෑ දර්ශනය නොදැක අපහාස කරමින් විවේචනය කරමින් තැන තැන සැරිසරන්නේ උන්මන්තකයන් මෙනි. නමුත් එතුමාට ඊට පිළිතුරු දීමට අවස්‌ථාවක්‌ නොවන්නේ අති විශාල ප්‍රමාණයක බුද්ධිමත් ජනතාවක්‌ එම සේවයේ හරය දකිමින් තම ජීවිතත් ඊට අනුගත කරමින් තම තමන්ගේ ධර්මයන්ට නමස්‌කාර කිරීමට පෙළගැසී සිටින බැවිණි. අද වන විට ලොව පුරා සිටින බොහෝ ජනප්‍රිය චරිත රැසක්‌ම සත්‍ය සායි බාබා වටහා දෙන මෙම යථාර්ථය තේරුම් ගැනීමට සමත්ව සිටියි. සත්‍ය සායි බාබාතුමා සැම විටෙම පවසන්නේ ඔබ බෞද්ධයෙක්‌ නම් වඩා හොඳ අර්ථ පූර්ණ බෞද්ධයෙක්‌ වන්න, ඔබ කිතුණුවෙක්‌ නම් වඩා හොඳ අර්ථ පූර්ණ කිතුණුවෙක්‌ වන්න, ඔබ හින්දු හෝ ඉස්‌ලාම් බැතිමතෙක්‌ නම් වඩා හොඳ අර්ථ පූර්ණ හින්දු හෝ ඉස්‌ලාම් බැතිමතෙක්‌ වන්න. බැතිමත් බව පන්සලට පල්ලියට හෝ සමාජයට ගෙන ගොස්‌ ගෙදර ඇවිත් යළිත් රාක්‌කයේ එල්ලන ආවරණයක්‌ නොවේ. එය හදවතේ පැන නැඟê ක්‍රියාවෙන් එළි දැක්‌වෙන ව්‍යායාමයක්‌ කරගත යුතුය යන්නයි.

අද වන විට 85 විය සපිරූ මෙම දිව්‍යමය චරිතය රෝගී තත්ත්වයෙන් ශ්‍රී සත්‍ය සායි සුපිරි විශේෂඥ රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. නමුත් එතුමාණන් ලොවට කළ සේවය ඉතාමත් උසස්‌ තලයක පවතියි. පිල් බෙදුණු, යථාර්ථය යටපත් වූ මනුෂ්‍ය සිත් පුබුදාලන්නටත්, තවත් අයෙක්‌ වෙනුවෙන් තමන්ට හැකි අයුරින් සේවය කරන්නට මනුෂ්‍ය වර්ගයා හුරු පුරුදු කරවීමත් ඒ අතරින් ප්‍රධානය. අද මේ මොහොතේදී එතුමා සිය මිලියන ගණනක අනුගාමිකයින්ගේ අධ්‍යාත්මික දියුණුව පිළිබඳ තීරණාත්මක පරීක්‍ෂණයක්‌ පවත්වමින් සිටියි. දෙසූ දහම තුළින් එතුමා දකිමින් ඒ ධර්මයේ හැසිරෙමින් එතුමා ජීවත් කරවීමට වඩා සායි බාබාතුමාගේ තත්ත්වය කෙසේ වේවිදැයි නිරන්තරයෙන් විපරම් කරමින් තැවෙන පිරිස අති මහත්ය. නමුත් දෙස්‌ දෙවොල් තබමින් හැපී වැළපෙනවාට වඩා පුරා 73 වසරක්‌ එතුමා කියා දුන් දේ ප්‍රායෝගිකව ඉටු කරමින් සැබෑ මෛත්‍රියෙන් යුක්‌තව කටයුතු කිරීමට පෙළඹුණ හොත් සත්‍ය සායි බාබාතුමාණන් නුදුරු දිනෙකම සිය සුපරුදු සුන්දර සිනා රැල්ලත් සමඟින් ඒ මනුෂ්‍යත්වය තුළ සැඟවුණු දේවත්වයේ අනුහස්‌ සමඟින් අප අතරට වඩිනු නොඅනුමානය.

ඕම් ශ්‍රී සත්‍ය සායි සම්පූර්ණ පරිපූර්ණ ආරෝග්‍ය ප්‍රාප්තිරස්‌තු!

කේ. පී. කොඩිතුවක්‌කු
 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.